Tuesday, August 5, 2008

සුඩාන ජනපතිට අයි.සී.සීය තොණ්ඩුව දමයි. - 03

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික අනුග්‍රහය යටතේ සුඩානයට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකදී නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය, සුඩානය සමඟ පවතින සන්ධානය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නක් විය හැකිය. මෙම රටවල් දෙකටම විරුද්ධව සුඩානය සන්නද්ධ කිරීම පිළිබඳ චෝදනා නැ‍ෙගන අතර එය 2005 දී ඩාෆූර් නුවර සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද යෝජනාවක් බව මෙම රටවල් දෙක එනම් චීනය හා රුසියාව අනුමත කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වන බෑන් කී මූන් මහතාගේ ප්‍රකාශයකට අනුව ඔහු කියා සිටියේ තවදුරටත් සුඩාන රජය සුඩානය තුළ ඇති එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවට ඔහු බලාපොරොත්තුවන බවත්, එමඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේපල වලට සහ නිලධාරීන්ට ඇති ආරක්ෂාව සහතික කිරීමට කටයුතු යොදනු ඇති බවත්ය.

කාර්ටුම් නුවර පාලනය විසින් තමන් වාසය කරනු ලබන ඩාෆූර් ප්‍රදේශය නොසලකා හැර ඇතැයි කියමින් රජයට විරුද්ධව කැරලි ගසන කණ්ඩායම් දරුණූ ලෙස මර්ධනය කිරීම සුඩාන් රජය මඟින් 2003 දී ඇරඹීමත් සමඟ මෙම ප්‍රදේශයේ යුද්ධය ඇවිලී ගියේය. එක්සත් ජාතීන්ගේ තක්සේරුව අනුව ගැටුම් වලට මැදිවීමෙන් හා සාගතය නිසා මෙම ප්‍රදේශයේ 300,000 ක් පමණ ජනතාව මිය ගොස් ඇත.
මොරෙනෝ ඔකැම්පෝට අනුව සුඩාන් හමුදා හා රජය වෙනුවෙන් කටයුතු කරන පන්ජාවිධි සන්නද්ධ කණ්ඩායම් ඉතාමත් සැලසුම් සහගතව ගම්මානවල වාසය කරන සිවිල් ජනතාව තමන්ගේ ඉලක්ක බවට පත්කරගන්නා බවයි. සමහර අවස්ථාවල ලඟ පිහිටා ඇති කැරළි කණ්ඩායම්වල කඳවුරු මඟ හරිමින් සිවිල් ජනතාව වාසය කරන ගම්මාන ඉලක්ක බවට පත් කරගන්නා බවයි.

ඔහු තවදුරටත් චෝදනා කරනු ලැබුවේ ඔවුන් ගම්මාන විනාශකරන බවත්, කාන්තාවන් හා ළමුන් දුෂණය කරන බවත්, නිවාස අහිමි වූ අයට කාන්තාරය තුළ සහ කඳවුරු තුළ මන්ද පෝෂණයෙන් සහ සාගතයෙන් පීඩාවිදීමට සලස්වන බවත් කියමින්.

මෙම මිලියන 2.5ක් වූ සරණාගත කඳවුරුවල වෙසෙන ජනතාව මරා දැමීමට අල් බෂීර්ගේ හමුදාවට ගෑස් කාමර අවශ්‍ය නොවන බවත්, කාන්තාරය විසින් ඔවුන් මරා දමනු ඇති බවත් ඔහු පැවසීය.

සාක්ෂිකරුවන් පැවසූ ලෙස ස්ත්‍රී දුෂණය ඩාෆූර් ප්‍රදේශයේ අයට සාමාන්‍ය දෙයකි. මෙම සමූහ ස්ත්‍රී දුෂණ මඟින් ජන් ජාවීඞ් දරු පරපුරක් බිහිවන අතර අදාළ වින්දිත කාන්තාවන් විසින් මෙම දරුවන් විනාශ කිරීමේ අවදානමක් ද පවතී.

මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මඟින් ලෝකයට මෙම ඝාතන වැළැක්වීමට අවස්ථාවක් උදාවී ඇති බව මොරෙනෝ ඔකැම්පෝ ප්‍රකාශ කරන ලදී.

”අපි කටයුතු කරමින් සිටින්නේ වර්ග ඝාතනය සමඟයි. මෙය නැවැත්වීම පහසුද නැත. නමුත් මෙය නැවැත්වීම කළ යුතුමයි ”.

පුවත්පත් සාකච්ඡාවේදී මොරෙනෝ ඔකැම්පෝ මහතා ප්‍රකාශ කරන ලදී.ජාත්‍යන්තර ප්‍රජාව අතීතයේ දී අසමත් වී ඇත. ඔවුන්ට රුවන්ඩාව තුළ වර්ග ඝාතනය වැළැක්වීමට නොහැකි විය. ඔවුන්ට බල්කන්ස් කරන ලද අපරාධ නැවැත්වීමට නොහැකි විය. මෙය අළුත් අවස්ථාවකි. දැන් අපට ස්වාධීන අධිකරණයක් ඇත.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණ වලදී හිටපු සර්බියානු ජනපති ස්ලෝබෝඩාන් මිලසොවික් සහ ලයිබීරියානු ජනපති මාර්ල්ස් ටේලර් ඔවුන්ගේ පාලන කාලය තුළ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ චෝදනා ඉදිරිපත් කරන ලදී.

ස්ලෝබෝඩාන් මිලසොවික් 2006 වසරේදී සිර ගෙය තුළ මිය යන ලද අතර ටේලර් හේග් නුවරදී සියරා ලියෝන් රාජ්‍යය තුළ සිදුකරන ලද මනුෂ්‍යයත්වයට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධ නඩු විභාගයට මුහුණ දී සිටී.

සමාප්තයි !

Monday, August 4, 2008

අපේ තියෙන්නේ මානව අයිතිවාසිකම් කඩ කිරීමේ සංස්කෘතියක්

නිතීඥ එස්.ජී පුංචිහේවා

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මැදිහත් වීමේදී එදා සහ අද අතර ඔබ දකින වෙනස මොකක්ද?
එදාට වැඩිය අද යම්කිසි නිශ්චිත නීති රීති ප්‍රමාණයක් තියෙන නිසා මැදිහත් වීමේදී නීතිය පැත්තෙන් කිසියම් පහසුවක් තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී එදා අපි මුහුණ දුන් ගැටලූ වලටම අදත් අපි මුහුණ දෙනවා. එදයි අදයි අතර යම්කිසි ප්‍රශ්නයක් හරියට විසඳගන්න පහසුයි හෝ අපහසුයි කියලා කියන්න බැරි ඒ නිසයි. දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මානව හිමිකම් කඩ කිරීමේදී සිදු කෙරෙන මැදිහත්වීම් වැළැක්වීම සඳහා ක්‍රියාකාරීත්වයක් රටේ වර්ධනය වෙලා තියෙනවා.


මානව හිමිකම් ක්ෂේත්‍ර‍‍ෙය් වසර ගණනාවක් කටයුතු කරපු කෙනෙක් ලෙස ඔබ හඳුනාගෙන ඇති ආකාරයට ලංකාවේ මේ වන විට ප්‍රධානම අර්බුදය පැන නැඟී ඇත්තේ කුමන ක්ෂේත්‍රයේද?
මම නම් දකින්නේ නීති ක්ෂේත්‍රය තුළයි. මට සමීප නිසා කියනවාම නෙවෙයි. සියළුම මනුෂ්‍ය හැසිරීම් පාලනය කිරීමට, යහපත් මනුෂ්‍යයින් ඇති කිරීමට තමයි මේ නීති රීති ඇති කරලා තියෙන්නේ. අපේ රටේ ඉතාම හොඳ නීති රීති තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමේදී සිදුවෙන වැරදි අධීක්ෂණය කරන්න, පිරිසිදු ප්‍රතිකර්ම යොදන්න පුරවැසියාට ක්‍රමයක් නැහැ. පුරවැසියා ඒ සඳහා හඬ නඟන්නේත් නැහැ. පත්වුණු මිනිහා කියන දේ අහගෙන ඒක හරියි කියාගෙන පුරවැසියා ඉන්නවා. ඒක නිසා අද බරපතලම ප්‍රශ්නය නීතියේ ආධිපත්‍ය නැතිවීම. අද නීතිය ප්‍රධාන වෙලා නැහැ. පුද්ගලයා තමයි ප්‍රධාන.

නීතියේ බලය බිඳ වැටීම නිසා අද විවිධ ක්ෂේත්‍ර තුළ අර්බුද ඇතිවෙලා. ඒ අර්බුද විසඳගන්න පුරවැසියන් වෙන වෙනම කණ්ඩායම් සටනක නිරත වෙනවා. ඔවුන් එකතු වෙලා එක් ව්‍යාපාරයක් ගොඩ නඟනවා දකින්න ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව සිවිල් පුරවැසියන් සංවේදී නොවීම ගැන ඔබගේ අදහස කුමක්ද?
අද විවිධ පක්ෂ, කණ්ඩායම්, චින්තනයන් යටතේ මිනිස්සු වෙන් වෙලා ඉන්නවා. මේ විදිහට ඔවුන් වෙන් වෙන්නෙ යම් යම් කරුණු සම්බන්ධයෙන් එක අරමුණක ඉඳගෙන පියවරෙන් පියවරට යන්න නෙවෙයි. තනිකරම පරමාදර්ශී සමාජයකට යන්න එක කොටසක් මහන්සි ගන්නවා. අනිත් කොටසට එහෙම අවශ්‍යතාවක් නැහැ. එතකොට ඒ ඒ කොටස් වෙන් වෙනවා. එහෙම නැතුව පොදුවේ සමාජයේ තියෙන ප්‍රශ්නය ආහාර ප්‍රශ්නය නම්, නැත්නම් යුද්ධය පිළිබඳ ප්‍රශ්නය නම් තනිකර ඒ ප්‍රශ්නයට කැපවුනොත් මේ සියළු දෙනාටම පුළුවන් එකට එකතු වෙන්න. ඒ වාගේම තව අවස්ථාවකදී පොදු කාරණයන් සඳහා එකඟ වෙන්නත් පුළුවන්. නමුත් එහෙම ක්‍රමවේදයක් අපි තුළ නැහැ. එතකොට තමන්ගේ පක්ෂයේ හෝ කණ්ඩායමේ මිනිස්සු ගාල් කර ගැනීමක් තමයි වෙන්නේ. ඒ නිසා පුරවැසියාට කරන්න දෙයක් නැතුව යනවා. පුරවැසියන්ට එකතු වෙලා හඬ නඟන්න තියෙන ඉඩකඩ සීමිතයි. ඒකට ඇත්තෙන්ම පුරවැසියාට පමණක් දොස් කියන්න බැහැ.

ඔබ විශ්වාස කරනවාද ලංකාවේ දේශපාලන සමාජයට බලපෑම් කරන්න පුළුවන් සිවිල් සමාජයක් තියෙනවා කියලා?
දැනට නම් නැහැ. දේශපාලන පක්ෂ විශාල බලයක් පාවිච්චි කරනවා. බලය නැති පක්ෂවලටත් බලය තියෙන පක්ෂ වලට අභියෝග කිරීමේ කිසියම් හැකියාවක් දැන් තියෙනවා. නමුත් සිවිල් සමාජයට ඒක නැහැ. සිවිල් සමාජයට බැහැ මේ දෙගොල්ලන්ගෙන් එක්කෙනෙකුටවත් බලපෑමක් කරන්න. ඒ අඩුපාඩුව තියෙන්නේ දේශපාලන පක්ෂයන්ට බලය ලැබීම නිසා. දේශපාලන පක්ෂවල මේ හැප්පීම තුළ සිවිල් සමාජයට නිකන් ඉන්න සිද්ධ වෙනවා. තමන්ට වුවමනා හැප්පීම නෙවෙයි වෙන්නේ. අර දෙන්නගේ වුවමනාවන් තමා හැප්පෙන්නේ. එතකොට සිවිල් සමාජයට කරන්න දෙයක් නැහැ. මේ දෙන්නම සිවිල් සමාජයේ බලය පහත් කොට සලකනවා. එකක් මර්දනය කරනවා. අනිත් එක ගණන් ගන්නේ නැතුව මර්දනය වෙන්න ඉඩ හරිනවා. මේ නිසා සිවිල් සමාජයට නැඟී සිටින්න බැහැ.

ඔබ මැඩිසන්ගේ ඔය The Federalist Papers නම් දැවැන්ත ග්‍රන්ථය රාජ්‍ය ගොඩ නැඟීමේ අභියෝගය නමින් මෑතකදී පරිවර්තනය කළා. මේ පොත පරිවර්තනය කිරීමේ අරමුණ මොකක්ද?
ඇත්තෙන්ම මේකෙ මුලිකව සාකච්ඡා වෙන්නේ ෆෙඩරල් ක්‍රමය ගැන. මං විශ්වාස කරනවා ෆෙඩරල් ක්‍රමය ලංකාවේ තියෙන ජාතික අර්බුදයට ප්‍රධාන විසදුමක් කියලා. ඒ නිසා ඒක ගැන අධ්‍යනය කරන අයට පහසුවීම සඳහා තමයි මෙය කලේ. ඇමෙරිකාවට සුදුසු ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම සඳහා ගෙන ගිය දැවැන්ත සටනේ කොටසක් හැටියට තමයි මේ පොත මැඩිසන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ ජොන් ජේ ලිව්වේ.

එම පොතෙන් ඉදිරිපත් කළ කරුණු ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් සංවාදයක් සමාජය තුළ ඇති වුණාද?
නැහැ. මේ පොතත් අනිත් පොත් වගේම ලියලා පැත්තකට දැම්මා. සමාජයේ වුවමනාව තියෙන්නේ ආර්ථිකය, යුද්ධය වගේ කාරණා ගැන.

ලංකාවේ ජාතික ප්‍රශ්නයට ඔබ යෝජනා කරන හොඳම විසඳුම කුමක්ද?
දැන් ජාතික ප්‍රශ්නය පිළිබඳව ඕනෑ තරම් නීති රීති, න්‍යායන් පළවෙලා තියෙනවා. දෙමළ ජනතාව කිව්වාම කලක් මිනිස්සු විශ්වාස කළේ ඔක්කෝම කොටි කියලා. විවිධ සංවාද නිසා දැන් ඔවුන් වෙන් කරගෙන තියෙනවා කොටි වෙනයි, දෙමළ අය වෙනයි කියලා. දෙමළ ජනතාවට වුවමනා ප්‍රශ්නය ගැන අපි දෙමළ ජනතාවත් එක්ක කථා කරන්නේ නැහැ. අතීතයේ ඉඳලම ඔවුන් එක්ක සාකච්ඡා කළේ නැහැ. අඩුම ගණනේ යුද්දේ ගැන හිතන අය, යුද්ධය කළ යුතුයි කියන අය තමන්ගේ අහල පහල ඉන්න ද්‍රවිඩ මිත්‍රයෙක් එක්කවත් සාකච්ඡා කරන්නේ නැහැ. අහන්නේ නැහැ. ඔබ මොකද හිතන්නේ මේ කාරණය ගැන කියලා. අපි අනිත් එක්කෙනාට සමාන ලෙස සළකනවා නම් එයාට ගරු කරනවා නම් ඇත්තෙන්ම අපි එයාගේ අදහසට ඉඩ දිය යුතුයි. දැනට මම කියන්නේ ෆෙඩරල් පාලන ක්‍රමයක් සුදුසුයි කියලා. නමුත් ෆෙඩරල් කියන වචනය පාවිච්චි කළාට ඇත්තටම සිද්ධ වෙන්න ඕන අපේ රටට ගැලපෙන සුදුසු එකක් අපි හදා ගන්න එක.

මේ කාලයේ රජය හසුරුවන ප්‍රධාන මතවාදයක් තමයි ෆෙඩරල්වාදී අදහස් දරන කෙනෙක් කියන්නේ එක්තරා ආකාරයක ජාති ද්‍රෝහියෙක්ය යන්න. ඒ ගැන ඔබගේ අදහස?
දෙමළ ජනතාවටයි අනෙක් අයටයි එකට ඉන්න පුළුවන් තත්වයක් ගොඩ නැඟීමට ක්‍රියාකරන්න ඕන. ඒ වෙනුවට අද යුද්ධයකින් ගෙන එන සාමයක් ගැන කියනවා. යුද්ධයකින් ගෙන එන සාමයකින් එය ඉෂ්ඨ වෙන්නේ නැහැ.

අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ආරක්ෂක නිලධාරීන්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දෙමළ වැසියන්ව තමන්ගේ හිතුමනාපෙට පීඩාවට පත් කරන්න බලපත්‍රයක් විදිහටත් මේක පාවිච්චි වෙනවා
අද නම දෙමළ නම් චෙක් පොයින්ට් එකේදී ඒක ප්‍රශ්නයක්. මේක තනිකරම මානව හිමිකම් කැඬීමක්. දෙමළ නිසා සැක කරන්න කියලා නැහැනේ. නමුත් සැක කරනවා. ත්‍රස්තවාදීන් සොයා ගන්න ක්‍රමවේදයක් වෙනම තියෙන්න ඕන. ඒක අපහසු වුනාය කියලා කරන්න දෙයක් නැහැ. අපහසු වුනත් මානව අයිතිවාසිකම් රකින්න ඕන. දැන් මානව අයිතිවාසිකම් කඩ කිරීමේ සංස්කෘතියක් වර්ධනය වෙලා අපේ රටේ.

පනත අයුතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධව සිවිල් සමාජයේ විරෝධයක් ඇති නොවෙන්නේ ඇයි ?
සිවිල් සමාජය මෙවැනි නීති වලට අභියෝග කළා. නමුත් කරපු මුල් අවස්ථාවේදිම ඒවා අහෝසි වුණා.ඔය නීතිය විතරක් නෙවෙයි නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙනුත් නඩු ගියා. ඒවා මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වුනා.

මේ දිනවල පැවැත්වෙන සාක් සමුළුව ජනාධිපති මහින්දගේ හා ආණ්ඩුවේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමේ ප්‍රතිරූපයක් කියලා මතයක් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස?
සාක් සමුළුව නිසා ජනාධිපතිතුමා මැතිවරණයට වාසියක් එක් කර ගන්න උත්සාහ ගන්නවා. අපේක්ෂකයින්ට හැර ඇමතිවරුන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙන්න බැරි නිසා ජනාධිපතිතුමාම ප්‍රචාරක කටයුතුත් කරනවා. ඒක නවත්වන්න මේ මැතිවරණ කොමසාරිස්ට බැහැ. ඔහු ස්වාධීන නැහැ. ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් ස්වාධීන පුද්ගලයෙක්. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන විට ඔහු ඒවාට සෘජුවම විරුද්ධ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනවා. ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයත් ස්වාධීනයි. මෙහේ වගේ ගැතිවෙලා නැහැ. මෙහේ බය කරගෙනයි ඉන්නේ.

රජය සාක් සමුළුව සඳහා කොළඹ නගරය සුද්ද කළා. ඒ සුද්ධ කිරීම වැටවල්වල තීන්ත ගෑමේ ඉඳන් ගෙවල්වල මිනිස්සු ඉවත් කිරීම තෙක් දුර දිග ගියා.
කෙටියෙන්ම කියන්න තියෙන්නේ බාහිර වශයෙන් සුද්ද කළාට මේ රජයේ අභ්‍යන්තරය සුද්ධ වෙලා නැහැ. කලාපයේ අනෙක් රටවල තත්වයත් මේ වගේමයි. ඔවුන් අපේ රාජ්‍ය නායකයෝ යන කොට ඒ නගර ශුද්ධ කරන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. ඉන්දියාවේ, බංගලාදේශයේ, පකිස්ථානයේ කොච්චර හිඟන්නෝ ඉන්නවාද? මුඩුක්කු තියෙනවාද? ඒත් ඒවා වෙනස් කරන්නේ නැහැනේ. මෙහේ ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමේ ව්‍යායාමයක් තියෙන්නේ. නමුත් ඊට වඩා නරකද තමුන්ගේ ඇත්ත ස්වරූපය පෙන්නුවහම.

මේක වෙනත් ආණ්ඩුවක් යටතේ උනානම් ඉස්සෙල්ලම පාරට බහින කෙනා මහින්ද රාජපක්ෂ දැන් ඔහු ජනාධිපති ලෙස ඉඳගෙන කරන මේ වැඩවල එක්තරා හාස්‍යයක් තියෙනවා නේද ?
ඔහු ඒ කාලේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් අපේ ආයතනය සමඟ (MDDR) විරුද්ධ පක්ෂයේ මානව හිමිකම් කඩවීම් වලට විරුද්ධව සෘජුවම කටයුතු කළා. හම්බන්තොට පැත්තේ විශාල නඩු ප්‍රමාණයක් වෙනුවෙන් පෙනී සිටියේ මානව හිමිකම් කොමිසමේ නිමල් පුංචිහේවා. ඒ දෙන්න මිත්‍රයෝ. ඒ නිසා එයාට කොමිසම භාර දීලා. දැන් ඉඩම් කොමිසමත් දීලා. අපි මේවා අනුමත කරන්නේ නැහැ. යාළුවෝ වුනත් වැරදි කරනවා නම් ඒවාට ඉඩ දෙන්න බැහැ. අපේ ආයතනයෙන් තමයි මහින්ද ගොඩ නැගුනේ. ඒ කාලේ අතුරුදහන්වීම් වලට විරුද්ධව කටයුතු කරන්න ඔහු අපට සෑහෙන සහයෝගයක් දුන්නා. නමුත් මිනිස්සුන්ට බලය ලැබෙන කොට තමයි එයාලා කවුද කියලා හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ. බලයෙන්ම මත්වෙලා, බලයම ලබා ගන්න උත්සාහය. එයා ඔය තරම් නිරහංකාර මනුස්සයෙක් නම් හංදි ගානේ ප්‍රතිමා හදන්නේ නැහැනේ.සාක් සමුළුවේ නායකයොත් එක්ක, ඉරාන ජනාධිපති එක්ක ඉන්න ජායාරූප හැමතැනම එල්ලන්නේ ජනාධිපතිවරුත් එක්ක ඉන්නවා කියලා ප්‍රතිරූපයක් සමාජයට පෙන්වන්න. මේවා කොයි අතින් බැලූවත් සදාචාරත්මකව වැරදි වැඩ. දැන් එයාට ප්‍රජාතන්ත්‍රවාදී හැගීම් නැහැ. බලය ලැබෙන කොට මිනිස්සු වෙනස් වෙන එකට හොදම උදාහරණය තමා මහින්ද රාජපක්ෂ.

back to HOME page click me